ප්‍රාදේශීය සභා සංස්ථාපනය හා විකාශනය

ත්‍රි සිංහලයට අයත් වු රුහුණු ,පිහිටි ,මායා යන පළාත් තුනෙන් මායා රටේ කොටසක් ලෙස හතර කෝරලය සහ තුන් කෝරලය අයත්ව තිබුණි.දෙහිගම්පල්,අටුළුගම්,පනාවල් කෝරල තුන හා පාත බුලත්ගම යන ප්‍රදේශයට ඇතුලත් වු තුන් කෝරලයට අයිති කොටසක් ලෙස දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හැදින්විය හැකිය.  ක්‍රි.ව. 1521 -1593 දක්වා වු කාල පරිච්ඡේදයේදී ප්‍රබල රාජ්‍යක් ව පැවතුණු බටහිර ආධිපත්‍යයට විරුද්ධව ප්‍රථම කඩු පහර එල්ල කළ රාජධානිය ලෙස හැදින්වූ ද මායාදුන්නේ හා රාජසිංහ යන රජවරුන් රජකළ රාජධානිය වු සීතාවක රාජධානිය ට  දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය අයත් ව තිබීම පෞඩත්වය මැනවින් ප්‍රකට වන ප්‍රදේශයක්ව පැවති බවට ඓතිහාසික සාක්ෂි සපයයි.

මෙම රාජධානියේ කේන්ද්‍රස්ථානය වූයේ ගම් දහසකට වඩාඅයත් වූවා යැයි සැලකෙන එවකට මානියම්ගම ප්‍රදේශයයි. ක්‍රි.ව. 1505 දී සිදු වු පෘතුගීසිජාතීන් ලංකාවට ගොඩ වැදීම හේතුවෙන්මෙම යුගය ශාසනික ඉතිහාසයේ පරිහානියත්,ආගමික, සමාජීය,සංස්කෘතික,අධ්‍යාපනික හා  භාෂා සාහිත්‍යමය අතින් අන්තයටම පිරිහීමක් දක්නට ලැබීම අදුරු යුගයක්  ලෙස සැලකේ.එමෙන්ම  එකල මායාදුන්නේ සහ රාජසිංහ යන නරවිරුවන්ට නිතරම ජාතිය වෙනුවෙන් සටන් මෙහෙය වීමට සිදුවීම මෙම තත්වයට හේතු වුවා විය හැකිය.වීර එඩිතර ජාතිමාමක ජන කොටසක්  වාසය කළ  ප්‍රදේශයක් ලෙස දෙහිඕවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හැදින්විය හැකිය.

       භූ ගෝලීය පිහිටීම අතින් දුර්ග,කදුවැටි,ගංඟා වශයෙන් පිහිටා තිබීම දැඩි ආරක්ෂා සහිත ගිරි  දුර්ග,වන දුර්ග,වාලුකා දුර්ග සහ පංක දුර්ග වශයෙන් දුර්ගස්ථානයන්හි පිහිටීම මෙය රාජධානියක් ලෙස තෝරා ගැනීමට හේතු වන්නට ඇති බව දැක්විය හැකිය.පංක යන්නෙහි අර්ථය ආචාර්ය්‍ය මොග්ගල්ලාන ස්ථවීර පෙන්වා දෙන්නේ මඩ හෝ මැටි අදහස් කරන බවයි.මුලගිරි පණ්ඩිතාචාර්ය්‍ය තර්ක වාචස්පති ස්ථවීර නිගණ්ඩු සංහිතාවෙහි දක්වන  ආකාරයට ගංඟා ,ඔය බහුලව පවත්නා නිසා හෝ වර්ෂා ජලය   නිසා මඩ රැදී තිබීමෙන් නිතරම ජලය රඳනා බිම් පංක ගණයට අයත් වන බව පෙන්වා දෙන  අතර සීතාවක රාජධානිය දෙස බලන කළ  3/5 ක පමණජලය රැදී ඇති බවපෙනේ.මෙම පිහිටීම රාජධානියක් වශයෙන් සතුරු ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා වීමට මහඟු පිටු බලයක් සපයන අතර කඳු හා ගංඟා ද ආරක්ෂාව සපයා ඇත.

එවැනි ශ්‍රේෂ්ඨ අතීතයකට හිමිකම් කියන සීතාවක පුරවරයේ දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ කාර්යයභාරය වන්නේ ජනතා තෘප්තියට හේතුවන උපරිම මට්ටමේ සේවාවක් සපයාදීමය. තුළනාත්මක හා ධරණීය සංවර්ධනයක් මඟින් ප්‍රදේශයේ ජනතාවගේ ශුභසිද්ධි සඳහා වූ අපේක්ෂාවන් ළඟා කරදීමට හා ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනය නංවාලීම සඳහා අවශ්‍ය වන්නා වූ යටිතල පහසුකම් එනම් මාර්ග කාණු පද්ධති සකස් කිරීම, වීථි පහන් සවි කිරීම, සෞඛ්‍යආරක්ෂිත පරිසරයක් නිර්මාණය ආදිය සපයාදීම මඟින් අපගේ ජනතාවගේ ජීවන තත්වය හා ඔවුන්ගේ භෞතික වටපිටාවද වර්ධනය කරලීම අපගේ අභීමතාර්ථය වන්නේය‍.